Tuesday, October 25, 2016

ඉන් ඇන්ඩ් අවුට් පතල් කයිය


පතල් කරුමාන්තය කියන්නේ තාමත් අපේ පැත්තේ ගොඩක් පිරිමි අයගේ ‍රැකියාව.වයස් සීමාව ගත්තොත් අවුරුදු පහලවේ දහසයේ ඉදලා හැට හැට පහ වෙනකල් වගේ වයසේ ඉන්න ශ්‍රමිකයෝ මේ ‍රැකියාවට සම්බන්ද වේලා ඉන්නවා."ලක් එක" කැරකුනොත් පොඩි වයසෙදිම යමක් කමක් හම්බ කර ගන්න පුලුවන් වෙන එකත්,ඊටත් වඩා හොයාගන්න තියෙන ලේසිම රස්සාවත් ඒ වගේම තාත්තගෙන් පුතාට එන ගතියත් යන කාරනා නිසා මේ රස්සාවට කොල්ලෝ යොමු වෙන එක වැඩී.

පතල් රස්සවේ අවුරුදු ගානක එක්ස්පීරියන්ස් තියෙන,පතලේ බාස් උන්නැහැ කෙනෙක් වෙන මගේ නෑ වෙන අයිය කෙනෙක් එක්ක මේ පාර ගෙදර ගියාම මම ලොකු කයියකට සෙට් වුනා,

මෙන්න මෙහෙම,,,


අද වැඩ නැද්ද අයියේ"තේ පදුරු නෙලමින්හිටපු අයියට කිට්‍ටු කරල මම ඇහුවා.(අයිය හිටියෙ තේ වත්තේ)

අද වැඩ නෑ මල්ලී ගරන්න මැශීන් හයි කරන්න වැඩ නැවැත්තුවා,කොහෙද මේ වහින්නේ නැති නිසා වේල්ලෙ වතුර අඩුයිනේ"

ඇයි අර  වලේ වතුර තිබ්බේ.."

ඒවායෙන් ඉල්ලම හොදන්න බෑ!රොනේ වැඩියිනේ.වේල්ලේ වතුර තමා හොදම!!"

වහී අදනම් මහිතේ"

තව දුරටත් විස්තර හාර අවුස්සන්න මම එයාට තේ බොන්ටත් කතා කොරා.තේ බොන ගමන් තව විස්තරත් කතා කරා,,

"වාසියක් ඇද්ද මේ ගමන"

බලමු,කියන්න බෑ,ඉල්ලමනම් හොදටම හොදයි"

ගිය පාර වාසියක් වුනෙත් නෑ හැබැයි නේද?"

පතෙලට කවුද මොනාද මතුරල දාල තිබ්බා,ගල් නොපෑදෙන්න.මේ ලගදි ලොකු තොවිලයක් කරා රුපියල් ලක්සෙක විතර.ඊට පස්සේ තමා හොද ඉල්ලම් ටිකක් අහුවුනේ"

නෑ...ඉතින්,කොහොමද දැන ගත්තේ.,?"

බොසා කාවද එක්ක ඇවිල්ල බලවල තිබ්බා,කට්ටඩි වැඩ දන්න කෙනෙක්,එයා තමා කියල තියෙන්නේ."

හ්ම්ම්...දැන් එහෙන්ම් ගල් මතුවෙයිද?"

බලමු ඉතින් නේ???"

"අර ටිකේ වල් නෙලුවද?"පල්ලෙහාට වෙන්න තියන තේ කෑල්ල පෙන්නල මම ඇහුවා.

"ඔව්"

"දවසෙන් පුලුවන් නේද නෙලල දාන්න..?"

"දවසෙන් බෑඈඈ....පතලෙන් දෙන්නෙක් ආව නිසා වැඩේ කරල දැම්මා ඉක්මනට..."

"එහෙම අවුලක් නැද්ද පර්සනල් වැඩ කර ගත්තට...වැඩ කරන මිනුස්සු ලව්වා...."

"නෑ,,බාස්ට කුබුරු තියේනම් ගොයම් කපන්නත් සෙට් එක එක්ක යනවා.බොස් එහෙම මොකුත් කියන්නේ නෑ මට..මම ඉතින් බැරිම වෙලාවල ඇරුනොත් මගේ වැඩ වලට කවුරුත් ගෙන්න ගන්නේ නෑ!!"

පතලේ සල්ලි බෙදෙන්නෙ කොහොමද?මම අහන්නේ වාසියක් වෙලා"මම ඇසීමි.වාසියක් වීම යනු මැනිකක් හම්බු වීමයි.

හවුලටනේ බෙදෙන්නේ. කියන්නේ වැඩ කරන මිනිස්සු ගානට හවුල් තියේ,මිනිස්සු විස්සක් වැඩ නම් හවුල් විස්සක් ඉතින්"

ඉතින් හොදයිනේ,දැන් ලක්ස විස්සක ගලක් ලැබුනොත් එක්කෙනෙක්ට ලක්සයක් නෙව,,"මම ඉතින් කියනවා..
අයිය කට පුරෝලා හිනා වුනා...

"පිස්සුද..එහෙම නෑ.තව බෙදෙන්න පන්ගු තියේ..ඇන්ජිම් පන්ගුව පහෙන් එකක්.බිම් පන්ගුව දහයෙන් එකක්..තව වියදම්..වියදම්ම කොච්චරක්ද මල්ලී...!!!!!

"මොනාද අප්පා ඉතින් පතලෙකට ඔච්චර වියදම්....?

මෙහෙමනේ..ගොඩ පතලෙක වල බහින කොට මුක්කු වලට ලී ඕනේ..පුවක් ගස් ඕනේ..කැකිල්ල ඕනේ..ලී අඩියක් කීයද දැන්?..පුවක් ගහක් තුන්සීයක් විතර වෙනවා.අඩු ගානේ ගස් විස්සක් තිහක් යනවා ඉස්සෙල්ලාම.ඊට පස්සේ කැකිල්ල...

කැකිල්ල සල්ලි වලට ගන්නේ නෑනේ...කැලේට ගිහිල්ල කපන එකනේ..

හැම තැනම හොද කැකිල්ල නෑනේ..අනික ගොඩක් තියෙන්නත් ඕනේ..එකට කුට්ටපිටි වත්තෙන් කපා ගන්න ඕනේ.වත්තට ඒකටත් දෙතුන් දහක් දෙන්න ඕනේ..

"නිකම් තියෙන කැකිල්ල වලටත් උන් සල්ලි ගන්නවද අප්පා..."

"ඔව්....එහෙම තමා...එතකොට තව වතුර ඉහින්නේ එන්ජිමෙන්.ඒකට ඩීසල්..උදේ තුනට දාන් එන්ජිම ඕෆ් කරන්නේ ආයේ ඉතින් හවස පහට හයට.වතුර වැඩිනම් සමහර විට මුලු රෑත් දාලා...

 ඔය එන්ජිමට එච්චර ඩීසල් යන්නේ නෑනේ..."


යනවා..බස් එන්ජිම් වලට වගේ යන්නෙ නෑ..ඒත් යනවා....අපේ තියන එක ලොකු එන්ජිමක්..""

"තව වියදම් මොනාද?"

ඒක නෙවෙයි රෑ තුනට කව්ද එන්ජිම දාන්නේ රෑ තුනට..?"

"ඇයි මුරට ඉන්න කෙනා..එයා දානව,,,

එකා නිදා ගන්නේ නැද්ද රෑට.."

මුරට එන්න කෙනා ඉල්ලම් ටික පරෙස්සම් කරන්න එපායැ..නිදා ගෙන හරියන්නේ නෑ..තේ ටිකක් කහට් ටිකක් බීලා,විටක් කාලා පතලේ වටේ ඇවිදල කරල ඉන්න ඕනේ.."

"ඕයා යනවද හිටපු ගමන් බලන්න ඒකා නිදිද කියල..?

"ඔව් මම යනවා,හිටපු ගමන්.."

පතලෙ අය ඉතින් වල බැහැලා ඉල්ලම් ගරන කල්ම් ඉන්න ඕනෙද අතට සල්ල්ලියක් එන්න..?"

ඔව්,,,ඒත් සුමාන කාසී කියල සතියට පන් හය සීයක් අතට දෙනවා.බස් වියදමට එහෙම...ලොකු සල්ලියක් එන්න නම් ඉතින් ගරන කල්ම ඉන්න ඕනේ.."

රුපියල් පන්සියෙන් මොනා කරන්නද අප්පා..එතකොට ඔය මිනිස්සුන්ගේ පවුල් රස්සා වෙන්නේ කොහොමද..?කොහොමත් වලක් බැහැලා ඉල්ලම් කඩල ගරන්න කොච්චර කල් යනවද..නේද?"

ඒක මෙහමනේ,,අපේ පතලේ ඉන්න අය මුලු ජීවිත කාලේම පතල් කරපු අය,,කලින් පතල් වල වාසි වෙලා ත්රී වීල් අරන්.තේ ටිකක් වවා ගත්ත අයනේ..එයාල සල්ලි ඉතුරු කරල රත්තරන් බඩු අරන් එහෙම තියෙන්නේ.ඉතින් පතලෙන් මොකක් හරි කැරකෙන කල් රෝල ගහ ගන්න බැරි කමක් නෑ..අනික පොඩි ගලක් විකුනුවොත් බොසා ඒකෙන් මොකුත් අඩු කර ගන්නේ නෑ,,අපිට බෙදා ගන්න කියනවා..ඒක නිසා ඉතින් මිනිස්සුන්ට මහ ලොකු අමාරුවක් නෑ..

"අර කව්ද එදා අර මෙහේ ඔයත් එක්ක ආව කලු මහත එක්කෙනා..?"

"එයා පතලේ මැනේජර්.."

"මැනේජර්..මැනෙජර් කෙනෙක් මක්කටැයි අප්පා..ඔයා ඉද්දී වැඩේ මැනේජ් කරන්න.."

"එහෙම බෑ,,මමත් වැඩ කරනවනේ වලේ..පතලේ වියදම් බලන්න,ඩීසල්,ලී ගේන්න,,වුවමනා අනික් බඩු මුට්ටු ගේන්න,පතලේ අයගේ සුමාන කාසී බේරන්න කෙනෙක් ඉන්න ඕනේ..එයා තම ඒවා කරන්නේ.අනික ඉල්ලම් කඩද්දී,ගරද්දී මිනිස්සු ගැන ඇලට් එකේ ඉන්න ඕනේ,ගලක් දැක්කොත් ඉඩ තියේනම් පන්නන්න පුලුවන්නේ...මම වලේඉද්දී වැඩ කරද්දී මිනිස්සු ගැන ඇහැ ගහන්න අමරුයි නේ.."

"මෙයාට හොරෙන් ගල් පන්නන්න අමරුයිද කියන්නේ.."

"අපොයි ඔව්,,මිනිහට හීරලුවෙක්ගේ ඇස් දෙකක් තියෙන්නේ.."

"පතලෙන් ගල් පන්නල තියේද?""

"ඔව්නේ,එක පාරක් පැන්නුවා..මදුරප්පුලි කන්ද පැත්තෙන් වැඩට ආපු එක්කෙක්..මූ අහින්සකය වාගේ හිටිය,අපි හිතුවේ නෑ එහෙම එකෙක් කියල.ගල පන්නල පස්සේ වෙඩට නෑවිත් හිටිය.පස්සේ හොදිසි කරල බල්ලද්දී ගෙවල් හදනවා,ත්රී වීල් ගන්නවා... ගලක් පන්නල.."

"ඉතින් මොකද කලේ ඔය ගොල්ලො..?"

"මොකුත් නෑ,,පොලිසි ගියානම් ඇදගෙන ඇවිත් දෙකක් ඇනලා බය කරල විස්තර අහ ගන්න තිබ්බා.කොහෙද බොස් එපා කිව්වා නේ.."

"එයා අහින්සක මනුස්සයෙක්ද?ඔයාලගේ බොස් මම කිව්වේ.."

අනේ ඔව්..එහෙම මිනිස්සුනට බනින කරන මනුස්සයෙක් නෙවෙයි.මගෙන් තමා හැම දේම අහන්නේ බලන්නේ.."

"ඔයාව හොදටම සුවර් වගේ පොරට"

"මොනව කියනවද..හොදටම විස්වාසයි..මමත් ඉතින් හැම දේම මගේ දෙකට වඩා හොදට බලල කියල කරනව මල්ලී.මොකද හොද මනුස්සයෙක් ගාව වැඩ් කරන එකම කොච්චර දෙයක්ද අප්පා..."

"පතලෙ උයනවද?"

"ඔව් දවල්ට උයනවා..උදේ දහයට,හවස තුනට හතරට ඉතින් තේ දෙනවා.."

"උයන්න වෙනම කෙනෙක් ඉන්නවද?"

"දැන් නැහැ..කලින් හිටිය.මිනිහ උයන එකම බදා ගෙන ඉන්නවා.වැඩ කරන්න කම්මැලී.පස්සේ එයාව පතලෙන් අයින් කරා.දැන් අපිම වැඩ කරන ගමන් ඇවිත් උයනවා.."

"පතලේ හොදට උයනවද,රසට,මාලුව හතරක් පහක් එක්ක එහෙම..."?

"ඔව් ,දෙකක් තුනක් හදනවා.මහන්සි වෙලා වැඩ කරන අයනේ,ගොදට කන්න පුලුවන්..අපි මාලුවක් මසක් එක්ක හොදට උයනවා ඉතින්.."

"කීයටද කන්නේ..

එහෙම වෙලාවක් නෑ..මම කියනකල් තුන හතර වෙනකල් හරි කට්ටිය වැඩ කරයි..මම කිව්වොත් ...කාල ඉමු නේද එහෙනම් කියල..කට්ටිය වැඩ නවත්තන්නේ.හවසට වැඩ නතර කරද්දිත් එහෙම තමා.හය හත වෙලත් මම ගොඩ එනකල් ඉන්නවා වැඩ නවත්තන්න....."

"ඔයා කට්ටියට ඩෝස් දෙනවද?"

" කිව්වේ.."

"බනිනවද?"

"එහෙම නෑ,,හැබැයි වැඩක් කියල කරන්න පරක්කු වුනොත් කෑ ගහනව.වැඩට වෙලාවට නාවොත් ටික දවසක් බලල දෙනවා බැනුම් මුරයක්,වැඩ අතාගානවනම් ඒත් ඉතින් පොඩි දෙකක් කියනවා."

"කට්ටිය කට ගහගෙන එන්නේ නැද්ද වෙලාවට.?"

"අපෝ නෑ,,වචනයක් කියන්නේ නෑ.පඩුවේ ඉන්නව.දන්නව ඉතින් මම නිස්කාරනේ මොකුත් නොකියන වග.."

"ඕකේ ඔයාට වඩා වැඩිමල් අයත් ඉන්නවනේ..එයලටත් බනිනවද.?"

"ඔව්,,ඔව්,,වයස බල බල ඉන්නේ නෑ වැඩේ හරියට නොවුනොත්..අපේ පතලේ අයිස් කාරයොනම් නෑ අනික.හැමෝම එකා වගේ වැඩ කරනව"

"හැබැයි ගලක් සෙට් වුනොත් ඒක ගල්ටික් කරනව නේ.."

"ඒක ඉතින් කොයි පතලේත් හැටියක්...පතලේ තාත්තගේ වුනත් වටින ගලක් හම්බවුනොත් පන්නන එකා පන්නනවම තමා.."

එහෙම කියල එයා යන්න නැගිට්ටා.සමහර විට මාත් එක්ක කතා කරල ප්‍රශ්න වලට උත්තර දීලා පොරට එපා උනාද දන්නෙත් නෑ.අවුරුදු විස්සක් තිහක් පතල් එක්ක හැප්පිච්ච මිනිස්සු ගාව ඒ ගැන කියන්න කතා කරන්න ගොඩක් දේ ඇති.ආයේ වතාවක් ඔය වගේ කයියක් දාන්න චෑන්ස් එකක් සෙට් වුනොත් ඒ ගැනත් ලියන්නම්..




No comments:

Post a Comment